0%

2028 ඔලිම්පික් වල බොක්සිං නැ?

August 13, 2024 - Articles

පැරිස් ඔලිම්පික් වලට පස්සෙ එන්නෙ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල. හැබැයි දැනටමත් ක්‍රීඩා ලෝලීන්ට අහන්න ලැබිලා තියෙනවා එක ක්‍රීඩාවක් වන බොක්සිං ඊළඟ උළෙලේදී ඉවත් වීමකට ලක් වෙනවා කියලා. ඇත්තටම 2024 ඔලිම්පික් උළෙල හරිම පුදුමාකාර අත්දැකීමක් වුණා. මතකද ඔයාලට, පළමු වරට බ්‍රේක් ඩාන්සින් තරග ඇතුළත් කළා. ඒක නම් සුපිරියටම කතාබහට ලක්වුණා. ඒ වගේම ජිම්නාස්ටික් සහ බොක්සිං තරගවලදී ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් වුණා. ඒවා ගැන කතා කරන්න ගියොත් දවසකුත් මදි. මේ වෙනකොටත් 2028 ලොස් ඇන්ජලීස් ක්‍රීඩා උළෙලට කටයුතු සූදානම් වෙනවා.  හැබැයි ඒකෙදි එක ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කියලා තියෙනවා ගොඩක් අයට ආසාවෙන් බලන ක්‍රීඩාවක් වන බොක්සින්ග් ඊළඟ ඔලිම්පික් උළෙලේදී ඇතුළත් කරන්නේ නැහැ කියලා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ තීරණය ගත්තේ ඇයි කියලා දන්නවද? ඔවුන් කියනවා, “මේකට හේතුව තමයි මුදල් සම්බන්ධ විනිවිදභාවය නැති වීම” කියලා.

ඔවුන් තවදුරටත් කියා සිටියා, “මේ නිසා තමයි අපි ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA පිළිගැනීම ඉවත් කළේ. IBA එක කැමති වුණේ නැහැ එයාලගේ මුදල් ලැබෙන තැන් ගැන විනිවිදව කියන්න. ඒ වගේම, එක රජයට අයිති සමාගමක් වන Gazprom කියන ආයතනය මත සම්පූර්ණයෙන්ම යැපෙන බව පැහැදිලි කරන්නත් එයාලා සූදානම් වුණේ නැහැ.” ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන ආකාරයට මේ ගැටළු නිසාම තමයි 2020 ටෝකියෝ ඔලිම්පික් සහ 2024 පැරිස් ක්‍රීඩා උළෙල්වල බොක්සිං තරඟ සංවිධානය කිරීමෙන් IBA එක ඉවත් කළේ කියලා. මේ සියලු හේතූන් නිසා, දැනට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා වැඩසටහනේ බොක්සිං ඇතුළත් කරලා නැහැ,” කියලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පැහැදිලි කළා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන ආකාරයට බොක්සිං නැවත ඔලිම්පික්වලට එන්න නම්, ඔලිම්පික් බොක්සිං සංවිධානය කළ යුත්තේ විශ්වාසනීය, හොඳින් පාලනය වන ජාත්‍යන්තර සම්මේලනයක් විසින්…

කොහොම වෙතත්, අවසාන තීරණය ගන්නේ 2025 දී. ඒ කියන්නේ, සංවිධානය කරන පිරිස් කණ්ඩායම් වලට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එක්ක තියෙන ගැටළු විසඳගන්න පුළුවන් නම්, තාමත් බොක්සිං ඇතුළත් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් කිව යුතුයි, බොක්සිං කියන්නේ 1904 ඉඳලා හැම ගිම්හාන ඔලිම්පික් උළෙලකම වගේ තිබුණු ක්‍රීඩාවක්. අවසාන වරට මේ ක්‍රීඩාව නැතුව ඔලිම්පික් පැවැත්වුණේ 1912 දී. ඒ, එවකට ස්වීඩනයේ තිබුණු නීති අනුව බොක්සිං තහනම් කරලා තිබූ නිසා.

– King / Kichcha –

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors